තිරසර සංවර්ධන සංවත්සරික පා ගමන

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ මූළිකත්වයෙන් පවත්වන ලද තිරසර සංවර්ධන ඉලක්ක දෙවැනි සංවත්සර පාගමන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළ දී ආරම්භ කෙරිණි.
2015 ඔක්තෝබර් මස 25 වැනි දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී 2030 දක්වා ක්‍රියාත්මක කරන තිරසර සංවර්ධනය ඉලක්ක කරගත් කරුණු 18ක් සඳහා ලෝකයේ රාජ්‍ය නායකයන් එකඟතාව පළකරන ලදී. ශ්‍රී ලංකාව ද මේ අතර වෙයි. ශ්‍රී ලංකාවේ මෙම කරුණු 18 ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන උපදේශකවරයා ලෙස ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිිසේන මහතා කටයුතු කරන අතර ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරයි. එහි උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාය.
තිරසර සංවර්ධනයක් සඳහා වූ දිළිඳුකම පිටුදැකීම, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම, උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම, පුණර්ජනනීය බලශක්තිය භාවිතයට ගැනීම, ලෝකය සමඟ සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම, නවීන තාක්ෂණික උපායමාර්ග භාවිතයට ගැනීම, ජලජ හා ගොඩබිම ජීවය සුරැකීම ඇතුළු කරුණු 18ක් කෙරෙහි මෙහි දී දැඩි අවධානයක් යොමු වී ඇත.
2030 වර්ෂය වනවිට තිරසාර සංවර්ධන ඉලක්කයන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංගමය සමග එක්ව ක්‍රියාත්මකවන තරුණ නායකයන් 21 දෙනකු බැගින් තෝරාගැනීමට ද නියමිතය. දැනටමත් ඉන් 80% පමණ පිරිසක් පත්කර අවසන් බව ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය පවසයි.
මෙවර පාගමන පවත්වන ලද්දේ 2030 තිරසර සංවර්ධන වැඩසටහන ට අදාල නියමයන් පිළිබඳ එකඟතාවට වර්ෂ දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

Share This Post

Post Comment